වාහනයේ ගමනක් යනකොට අපි අනිවරෙන්ම ගොඩක් හිතන දෙයක් තමයි ටයර් කියන්නෙ. හරි ප්‍රමිතියක් නැති ටයර් නිසා වගේම ටයර් වල නොයෙක් ප්‍රශ්න නිසා ගොඩක් අනතුරු සිදු වෙනව. මේ නිසා වාහන පදින ඔයාට ටයර් මාරු කරන දවස හරියටම දැනගන්න පුලුවන් වෙන්නෙ කොහොමද කියල මේ ලිපියෙන් දැනගනිමු.
ඇත්තටම වාහනයෙ ටයර් වලින් මොකද වෙන්නෙ. බැලූ බැල්මට කියන්න පුලුවන්නෙ ටයර් වලින් තමයි වාහනය ගමන් කරන්නෙ කියල. අපේ වාහනයෙ එන්ජිමෙන් නිෂ්පාදනය කරන ශක්තිය ටයර් වලින් තමයි පොලවට සම්බන්ධ වෙන්නෙ. අපි පැදගෙන යන වාහනයෙ උපරිම කාර්‍යක්ෂමතාව ලබා දෙන්නෙත් ටයර් වලින්. මේ නිසා හරිම වෙලාවට වාහනේ ටයර් මාරු කරන එක වැදගත් වෙනව. වාහනයෙ ටයර් ගෙවිල තිබුනොත් අපිට සිද්දවෙනව එක පාඩුවක් තමයි වැඩිපුර තෙල් පිච්චෙන එක. ඔයා පාවිච්චි කරන්නෙ පෙට්‍රල් හරි ඩීසල් හරි වාහනයක් වෙන්න පුලුවන්. මේ නිසා ඔයාට ඉන්ධන වලට වැඩිපුර සල්ලි වියදම් කරන්න වෙනව. දැනට රටේ තියෙන තෙල් ප්‍රශ්න එක්ක නම් ලොකුම ගැටලුවකට මුහුණ දෙන්න වෙනව. ඒ වගේම අපේ වාහනයෙ ටයර් ගෙවිල තිබුනොත් වාහනය හරියට control කරගන්නත් බැරිවෙනව. ඒ නිසා වාහන අනතුරු වලටත් හේතුවක් විදිහට පරණ ටයර් එහෙමත් නැතිනම් ගෙවිල තියෙන ටයර් හේතුවක් වෙනව.
අපි පාවිච්චි කරන කාර්, වෑන්, ජීප් වගේ වාහන වලින් බලාපොරොත්තු වෙන දෙයක් තමයි සැපපහසුව(comfortable) කියන්නෙ. මෙහෙම ගෙවිල ගිය ටයර් නිසා වාහනයෙ සැප අඩුවෙලා වාහනයෙ සමහර කොටස් වලටත් හානි සිද්ධ වෙනව. මෙතනදි සිද්ධවෙන තවත් භයානකම දේ තමයි අපේ වාහනයෙ ටයර් ගෙවිල නම් හරියට බ්‍රේක් ගහන්නවත් බැරි වෙනව. කාපට් කරපු පාරක වේගයෙන් යනව කියල හිතමු. හදිස්සියෙ නවත්වන්න ඕනි නිසා බ්‍රේක් කලත් වාහනය නවතින්නෙ නෑ ලිස්සගෙන යනව. ඒ මොකද කිව්වොත් වාහනයෙ ටයර් වල කට්ට ගෙවිල නිසා පාරට බදා ගැනීමක් නොවෙන නිසයි. වේගයෙන් වංගුවක යනකොටත් එහෙමම සිද්ධ වෙන්න පුලුවන්. එතකොට බොහෝ දුරට වාහනය ලිස්සගෙන ගිහින් වංගුවෙන් එලියට යයි. ලංකාව කියන්නෙ විවිධ වර්ග වල දේශගුණ තියෙන රටක්. ඒ නිසා අව්ව වැස්ස වගේ ඕනිම කාලගුණයකට අපිට වාහනයෙ යනකොට මුහුණ දෙන්න වෙනව. ඉතිං ඒ වගේ ඕනිම කාලගුණයකට මුහුණ දෙන්න නම් අපේ වාහනයෙ ටයර් හොද තත්වයේ තියෙන්න ඕනි.
සමහර කෙනෙකුට හිතෙන්න පුලුවන් මගෙ වාහනයෙ ඩිස්ක් බ්‍රේක් තියෙනව, මගෙ වාහනයෙ ABS තියෙනව, sensor තියෙනව කියල වගේ දේවල්. ඇත්තටම මේක හොදින් මතක තියාගන්න ඔයාගෙ වාහනයෙ කොච්චරක් security එක තිබුනත් ගෙවිල තියෙන ටයර් පාවිච්චි කරනවනම් ඒවයෙ වටිනාකමක් නැති වෙනව. ඒක නිසා ගොඩක් වේගයෙන් වාහනය යන වෙලාවක නම් ඔයාට වාහනය පාලනය කරගන්න බැරි වෙනව.මේ මේ නිසා ලොකු අනතුරක් වුනත් වෙන්න පුලුවන්.
ටයර් එකක් ගෙවිලද කියල අපිට ලේසියෙන්ම බලාගන්න පුලුවන්.මෙහෙමයි. ටයර් එකේ කට්ට දිහා හොදට බැලුවට පස්සෙ අපිට දැනගන්න පුලුවන් ඒකෙ කොච්චර උසකට කට්ට තියෙනවද කියල. ප්‍රමාණයක් විදිහට කිව්වොත් මිලිමීටර 03කට වඩා අඩුවෙන් උසට කට්ට තියෙන ටයර් එකක් නම් ඒ ටයර් එක ගෙවිල අනිවාරෙන්ම මාරු කරන්න ඕනි. සමහර ටයර් වලට හුලං වැඩිපුර ගහල තිබුණොත් ඒ ටයර් එකේ මැද කොටස වැඩිපුර ගෙවෙනව. ඒ වගේම ටයර් එකකට අඩුවෙන් හුලං ගහල තියෙනව නම් ඉක්මනට ටයර් එකේ දෙපැත්තෙන් ගෙවෙනව. හුලං අඩුවෙන් තියෙනවනම් වාහනයෙ ටයර් වැඩිපුර පොළවට බදනව. ඒ නිසා තෙල් පිච්චෙන එකත් වැඩි වෙනව. හුලං මට්ටම හරි ගානට තියාගන්නකොට හොද සැප පහසුවට ගමන යන්නත් පුලුවන්. ටයර් එක හදන නිෂ්පාදකය ඒ ටයර් එකට ලබාදෙන්න ඕනි නියමිත හුලං ප්‍රමාණය සදහන් කරනව. සමහර වෙලාවට හුලං ප්‍රමාණය ඉක්මවල ගිහින් ටයර් එක පුපුරන්නත් පුලුවන්. මේ නිසා ටයර් එක ගෙවිලද කියල දැනුවත් වෙන එක වගේම ටයර් වල හුලං මට්ටම ගැනත් අවධානයෙන් ඉන්න ඕනි.
ටයර් ගෙවිල තියෙන විදිහ බලල වාහනයෙ තියෙන දෝශයන් පවා දැන ගන්න පුලුවන්. ඔයා හරියටම ටයර් එකේ කට්ට දිහා බැලුවොත් පෙනේවි සමහර වෙලාවට ටයර් එක තැනින් තැන ගෙවිල තියෙන්නෙ. ඒ වෙලාව ඇති වෙන්න පුලුවන් ප්‍රශ්නයක් තමයි බ්‍රේක් වල ප්‍රශ්න ඇතිවීම. බ්‍රේක් හිරවීම වගේ දේවල් වෙන්න පුලුවන්. තවත් ප්‍රශ්නයක් තමයි රෝද වල ඇණ බුරුල් වෙලා තියෙනව වෙන්නත් පුලුවන්. වාහනයේ wheel alignment එක කියන දේ හරියටම නැත්නම් ඒත් ටයර් එක හරි ආකාරව ගෙවිල නැතිවෙන්න පුලුවන්.
වාහනයක් නඩත්තු කරනකොට ටයර් වල ආරක්ෂාව වෙනුවෙන් සහ පැවැත්ම දිගු කාලයක් තියාගන්න දේවල් කීපයක් කරන්න තියෙනව. රෝද වල wheel alignment හරියටම නැත්නම් ටයර් ගෙවීම ඉක්මනට සිද්ද වෙනව. ඒ නිසා කිලෝමීටර් 5000කට වරක් වත් ඔයාගෙ වාහනයෙ wheel alignment චෙක් කරල ටයර් වල ආයු කාලය වැඩි කරගන්න පුලුවන්. සමහර අය නොදැනුවත්කමින් වාහනය ක්ෂණිකව ඇක්සලරේට් කරනව. ඒ අවස්තා වලදීත් වාහනයෙ රෝද ඉකමනට ගෙවිල යනව. වේගයෙන් යන වාහනය එකපාරටම නවත්වන්න උත්සහ කරන නිසාත් ටයර් ඉක්මනට ගෙවෙන්නට පුලුවන්. වාහනයෙ suspension වල තියෙන ප්‍රශ්න වලටත් ටයර් ඉක්මනට ගෙවෙන්න පුලුවන්. කාලගුණ තත්වය වෙනස් වෙන නිසාත් ටයර් ඉක්මනට ගෙවෙනව. එතකොට වියළී කාලගුණයක් තියෙන පාරවල යනකොට ටයර් ගෙවීම වැඩි වෙනව. සාපේක්ෂව සීතල පරිසරයේ ටයර් ගෙවීම අඩුයි.
ටයර් මිලට ගන්නකොටත් හොද තත්ව සහතික තියෙන පිළිගත් ආයතනයක ටයරයක්ම අරගන්න. ඒ වගේම ටයරයේ නිෂ්පාදිත දිනය ගැනත් වැඩි අවධානයක් දෙන්න.ලංකාවෙත් ටයර් නිෂ්පාදනය කරන ආයතන කීපයක් තියෙනව. මේ ආයතන වලින් ලංකාවෙ ටයර් අවශ්‍යතාව සම්පූර්ණ කරනව වගේම පිටරට වලටත් අපනයනය කරනව. දැනට ගෙවුණ ටයර් වාහනයට දාල පාවිච්චි කරන එක නීතිමය විදිහට වැරැද්දක්. ඒ නිසා මෙහෙම ගෙවිල තියෙන ටයර් වාහනයට දාල යනකොට පොලීසියෙන් දඩයක් ගහන්න වුනත් පුලුවන්.
කොහොම උනත් හැම කෙනෙක්ගේ ම ආරක්ශාව වෙනුවෙන් හොද තත්වයේ ටයර් ම පාවිච්චි කරමු. පරිස්සමෙන් වාහන පදිමු.